අපි සියැටෙල්ගේ පාඨකයන් වෙමු



වොෂින්ටන් ජනාධිපතිතුමා අපේ භූමිය මිළදී ගැනීමට අදහස් කරනා බව දන්වා ඇත. නමුත් කෙනෙකු අහස හෝ පොළොව විකුණන්නේ හෝ මිළ දී  ගන්නේ කෙසේ ? අපට මෙය විකාර අදහසකි. අපට සුළඟෙහි නැවුම් බව හෝ ජලයෙහි බැබලීම අයිති නොවේ. යමෙකු එය විකුණන්නේ කෙසේද?
මහ පොළොවෙහි සෑම සුලඟක්ම මාගේ මිනිසුන්ට ශූද්ධ වූ වස්තුවකි. මාගේ මිනිසුන්ගේ මතකයට සහ අත්දැකීම් වලට  අනුව වැල්ලෙන් පිරි සෑම වෙරලක්ම,මීදුමෙන් වැසුණු සෑම අදුරු කැළයක් ම, සෑම තෘණ භූමියක්ම,ගුම් ගුම් නද දෙන සෑම සත්වයෙක්ම, පූජනීය වස්තූන් ය. ශිරාවක් තුළ ගලා බස්න ලේ තරමට ම ශාකයන් තුළ දුවනා සාරය පිළිබඳ අප දන්නෙමු. අපි මහපොළොවේ කොටසක් වන්නෙමු. ඒ තරමට ම මහ පොළොව අපේ කොටසකි. සුවඳ හමනා පුෂ්පයෝ අපේ සහෝදරියෝ ය . වලසුන්, මුවන් සහ තෙද බැලති රාජාලියන් අපේ සහෝදරයෝ ය. කඳු මුදුන් ද, වණ මත පිනි ද , උණුමුම් සිරුරැති අශ්වයා ද, මිනිසා ද එකම පවුලකට අයිති වූවෝ වෙත්.
           

ගංගා සහ දිය කඩිතිවල ගලා බස්නා ජලය, ජලය පමණක් ම නොවේ. අපේ මුතුන් මිත්තනිගේ සිරුරු තුළ ගලා ගිය ලේ දහරා ය. අපි ඔබට අපේ ඉඩම් විකුණන්නේ නම්, එය පූජනීය වස්තුවන් බව මතන තබා ගත යුතුය. වැවු තලයෙහි දින්වන සෑම ප්‍රතිබ්ම්බයක් ම මාගේ ජනතාවගේ ජීවිතයන්හි මතකයන් සහ ක්‍රියාවන් පිළිබිඹු කරයි. ජලයෙහි මුනු මුනුව මාගේ පියාගේ පියාණන්ගේ ස්වරය යි. ගංගාවෝ අපේ සොහොයුරෝ ය. ඔවුන් අපගේ පිපාසය සංසිදුව යි. ඔවුන් අපගේ හබල් ඔරු කැඳවාගෙන යයි. අපේ දරුවන් පෝෂණය කරයි. එහෙයින් ඔබේ සහෝදරයෙකුට කරුණාවෙන් සලකන්නා සේ ගංගා සහ ඇල දොළවලට සැලකිය යුතුයි.
අපි අපේ ඉඩම් ඔබට විකුණන්නේ නම්, වාතය අපට අමිල වස්තුවක් බවත්, වාතය සියලු ම ජීවීන් ට ප්‍රාණය පිඹින බවත් ඔබ මතක තබා ගත යුතු වන්නේ ය. අපගේ මුත්තණුවන්ට ප්‍රථම හුස්ම ලබාදුන් සුළඟම ඔහු ගේ අවසන් හුස්ම පොද උරුම කර ගත්තේ ය. එම සුළඟම අපේ දරුවන්ට ජීව වායුව ලබා දෙන්නේ ය. ඉදින් අපි අපේ ඉඩම් ඔබට විකුණන්නේ නම්, ඉදිරියටත් තෘණ පුෂ්පයන්ගෙන් රසවත් සුළඟෙහි ප්‍රණීත බව විඳින්නට හැකිය වන ලෙස ඒ භූමිය පූජනීය ලෙස රැකගත යුතු වන්නේ ය.

මහ පොළොව අපේ මෑණියන් බව අපි අපේ දරුවන්ට ඉගැන්වූයෙමු. ඔබ ඔබේ දරුවන්ට එය උගන්වන්නේ ද?. මහ පොළොවට යමක් සිදුවේ ද එය පොළොවේ දරුවන්ට බලපාන්නේ ය. අපි මෙය දන්නෙමු. මහ පොළව මිනිසාගේ අයිතියක් නොවේ. මිනිසා මහ පොළොවේ අයිතියකි . අප සැමගේ ලේ රත් පැහැ වන්නා සේ ම අන් සියල්ලත් එකිනෙකට බැඳී පවතී. ජීවිත දැළ මිනිසා විනින් වියන ලද්දක් වේ. ඔහු එහි සිටගෙන සිටිනවා පමණි. ඔහු දැළට යම් දෙයක් කරන්නේ ද, එය ඔහුට ම කරගන්නකි. අපි එක් දෙයක් දන්නෙමු. අපේ දෙවියන් ඔබේත් දෙවියන් ය. මහ පොළොව ඔහුට අමිල වස්තුවකි. යමෙක් එයට හානි කරන්නේ නම් ඔහු එම දෙවියන්ගේ උදහසට ලක් වන්නේම ය.
අපට ඔබගේ දෛවය අභිරහසකි. සියලු ම මීහකුන් ඝාතකය කල විට, සෑම කැලෑ අස්වයෙකුම හීලෑ කල විට කුමක් සිදුවෙයි ද ?. මහා කුළුණු වලින් කදු ශිඛර වැසී ගිය විට, කැලෑවෙහි හුදෙකලා තැන් මිනිස් සුවඳින් ආක්‍රමනය කල විට කුමක් සිදු වේවි ද ?. ළඳු කැලෑ කොහේ වේවි ද ? අතුරුදහන් ! ආජාලියන් අතුරුදහන්, එය පැවැත්මේ ආරම්භය සහ ජීවත්වීමේ අවසානය වේවි. අවසාන රතු ඉන්දියානුවාත් මේ වනාන්තරයෙන් අතුරුදහන් වූ පසුත්, ඔහුගේ මතකය සුළඟේ එතී සෙවනැල්ලක් සේ තණ බිම් හරහා ඇදීගිය පසුත්, මේ මුහුදු වෙරළවල් සහ කැලෑ රොදවල් මේ අයුරින් තිබේවි ද ? මාගේ මිනිසුන්ගේ ජීවය සුවඳ ඉතිරි වේවි ද ?.

අලුත උපන් බිළිඳෙකු තම මවගේ හද ගැස්මට ආදරය කරන්නේ යම් සේ ද අපි ද මේ පොළොවට ආදරය කරන්නෙමු. එහෙයින් අපි අපේ ඉඩම් ඔබට විකුනන්නේ නම්, අපි එය ට ආදරය කළා  සේ ම ඔබ ද එයට ආදරය කළ යුතු වන්නේ ය . දරුවන් වෙනුවෙන් එය සංරක්ෂණය කළ යුතුවන්නේ ය. දෙවියන් අපට ප්‍රේම කරන්නා සේ ම ප්‍රේම කළ යුතුවන්නේ ය.
අපි මේ භූමියෙහි කොටසක් වන්නා සේ ම, ඔබ ද මේ භූමියෙහි කොටසක් වන්නේය.


    මේ භූමිය අපිට අමිල වන්නේ යම් සේද ඔබ ද ඔබද එසේම විය යුතුය. අපි එක්දෙයක් දන්නෙමු.ලොවට සිටින්නේ එක් දෙවියෙකි. ඔ  සුදු වුවත් කළු වුවත් ඔබට වෙනසිවිය නොහැකිය.සියල්ල අවසානයේ අප සැවොම සහෝදරයෝ ය.
(රතු ඉන්දියානු නායක සියැටල් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලියූ ලිපිය)

උපුටනය - සැපතෙකි මේ දරු උපදේශාත්මක නිර්මාණ එකතුව.
S.N.M සමන්ත B. සමරකොන්                                     (සංවර්ධන නිළදාරි)